ඉඳුරන් කෙරෙන් මතුවන මාර බලවේගය

(බුදුරදුන් මාර පරාජය කළ අවස්ථාව)
මාරයා සහ මාර සේනා පිළිබඳ විවිධාකාර දුර්මත අප සමාජයේ ප්‍රචලිතව පවතී. සමහරු මාරයා සහ මාර බලවේගය පිළිබඳ විශ්වාසයෙන් තොර වන අතර ඒවා හුදෙක් සංකල්ප සේ සිතයි. මෙයින් ඇතැම් කරුණු ගැන ගියවර ලිපියේ සාකච්ඡා කළෙමු. මාරාවේශය යන්න ද තවත් එවැනිම කුතුහලය දනවන කරුණකි. එසේම අප තථාගතයන් වහන්සේ මාර පරාජය කළ මොහොත කුමක් ද? එය සිදු වූයේ සම්බුද්ධත්වයට පෙර ද සම්බුද්ධත්වයට පසුව ද? එසේම මාරයා ගේ බිහිවීම සිදුවන්නේ කෙසේ ද? වැනි කරුණු ගණනාවක් පිළිබඳ කතිකාවතක් සඳහා අපි මෙවර ද අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ සමග සදහම් පිළිසඳරකට එක්වෙමු.


ගෞරවනීය ස්වාමීන්වහන්ස, මාරාවේශය වූ මිනිසුන් ගැන විවිධ කතා පුවත් අප අසා තිබෙනවා. ඒ වගේම මාරයා තමාමත් මිනිස් වෙසින් පෙනී සිට තිබෙනවා නේද?


ඔව්. වරක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්වහන්සේලාට ඇස, කන, නාසය, දිව, කය, මනස පිළිබඳ දේශනාවක් පවත්වමින් සිටියා. මෙවිට එක්තරා පුරුෂයෙක් එතැනට පැමිණියා. මේ මනුෂ්‍යයා සිටියේ මඩ නාගෙන. අතේ වේවැලක්. එය උපයෝගී කරගත්තේ හරකුන් දැක්කීමට. මේ පුරුෂයා පැමිනියේ ගොවියෙකුගේ වේශයෙන්. මෙසේ පැමිණි මේ පුරුෂයා මේ දේශනාවට බාධා කරමින් මේ විදිහට අසනවා. 
"ශ්‍රමනයන් වහන්ස, මගේ හරකුන් මෙතැනින් ගියාද?
මේ වෙලාවේ දී තථාගතයන් වහන්සේ මේ ගොවියාගේ නමින් ඔහු අමතන්නේ නැහැ. උන්වහන්සේ ඍජු ලෙසම මෙසේ පිළිතුරු දෙනවා.
"මාරය නුඹේ හරකුන් නුඹම සොයාගන්න."
මෙවිට මාරයාගේ නියම ස්වරූපය ඉස්මතු වෙනවා. මාරයා මෙසේ කියනවා. 
"ශ්‍රමණය ඔබේ ඔය ඇස, කන, නාසය, දිව. කය, මනස යන සියල්ලම මගේ."
එවිට බුදුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරනවා. 
"ඇත්ත මාරය ඒ සියල්ල නුඹේ තමා".
"ශ්‍රමණය ඒ සියල්ල යමෙක් මම ය මගේ ය කියා කියන්නේ  ඔහු ද මගේ ය." කියා මාරයා මෙවිට ප්‍රකාශ කරනවා. 
"ඇත්ත මාරය ඔහු ද නුඹේය."
මින් පසු තථාගතයන් වහන්සේ මාරයාගෙන් පැනයක් විමසනවා. 
"එසේ නම් මාරය යමෙක් ඒ ඇස, කන, නාසය, දිව, කය, මනස මම ය මාගේ ය යනුවෙන් නොගෙන එයින් නිදහස් වී ඇත්ද ඔහු කොහේද?
"ස්වාමීනි ඔහු මට අයත් නැත." යනුවෙන් මාරයා පිළිතුරු දෙනවා.


මේයින් අදහස් වන්නේ මාර බලවේගය ලෙස ප්‍රකට කරුණු ක්‍රියාත්මක තලයට පැමිණෙන්නේ ඉන්ද්‍රියයන් හය ඔස්සේ යන්නද?


අනිවාර්යයෙන්ම. මේ ඉන්ද්‍රියයන් හයෙන් අදාළ අරමුණු ඉදිරිපත් කිරීමෙන්මයි මෙය සිදුවන්නේ.


සුරයන් සහ අසුරයන් යනු කවුරුන් ද?


සුරයන් යහපතට කැමති දේව කොට්ඨාසයි. අසුරයන් මැර බලය ඇති, චන්ඩිකම් පානා වූ භූත බලවේග රාශියක්. 


 මේ දෙපිරිස අතර යුද්ධ පවතිනවා ද? 


ඔව්. කලින් කලට අසුරයන් බලවත් වෙනවා. බුද්ධ ශාසනය අතුරුදන් වන්නේත් අසුර බලවේග බලවත් වීමෙන්. මේ බලවේගය මුළුමනින්ම මාරයාගේ ග්‍රහණයේයි පවතින්නේ. මේ අසුර බලයට මේ ලෝකය සහමුලින්ම ධර්මයෙන් ඈත්කරන්නට හැකියාව තිබෙනවා. ධර්මය පිළිබඳ විකෘති මතවාද ඉදිරිපත් කරවන්නත් පුළුවන්. ධර්මය විකෘති කරවන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාමේ කාර්යභාරයට මේ අසුර බලවේග පූර්ණ සහාය දෙනවා. ඒ වගේම ධර්මය ඉස්මතු කරවීමට කිසියම් වැඩපිළිවෙළක් තිබෙනවා නම් එය විනාශ කරවීමට කටයුතු සැලැස්වීමත් මේ අයගේ කාර්යයක්. විමුක්ති සාධන වැඩපිළිවෙළට එරෙහිව කතාබස් කරන මොනතරම් පිරිසක් මේ සමාජයේ සිටිනවා ද? මේ අය දන්නේ නෑ මේ අය නොදැනුවත්වම නියෝජනය කරන්නේ මාර පාර්ශ්වය බව. මෙයට හොඳ උදාහරණයක් තමයි සුත්ත නිපාතයේ ධනිය ගෝපාල සූත්‍රය. ධනිය ගොපලු නායකයෙක්. ඔහු බුදුන් සරණ ගොසින් පැවිද්ද ඉල්ලූ විට මාරයා එයට මැදිහත් වෙනවා. එවිට මාරයා කරන ප්‍රකාශය බලන්න; 
"දරුවන් ඇති කෙනා දරුවන් නිසා සතුටු වෙයි. ධනය ඇති කෙනා ධනය නිසා සතුටු වෙයි. කෙලෙස් ඇති කෙනා කෙලෙස් නිසා සතුටු වෙයි. යමෙකුට කෙලෙස් නැද්ද ඔහුට සතුටක් නැත.
මෙයම නොවේද වර්ථමාන ලෝකයේ සංකල්පයත්? මෙවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා. 
"දරුවන් ඇති කෙනා දරුවන් නිසා සෝක වේ. ධනය ඇති කෙනා ධනය නිසා සෝක වේ. කෙලෙස් ඇති කෙනා කෙලෙස් නිසා සෝක වේ. යමකුට කෙලෙසුන් නැද්ද ඔහු සෝක නොවෙයි.
ඒත් මෙන්න මේ මතයට අද මනුෂ්‍යයාට පැමිණෙන්න බෑ. විරාගය වැනි අදහසක් වත්මන් මනුෂ්‍යයාට අහන්න ලැබුණාම මේ අය කම්පා වෙන හැටි බලන්න. ඔවුන් සිතන්නේම එවැනක් අද මනුෂ්‍යයාට අදාළ නැතැයි කියායි. රාග, ද්වේෂ, මෝහ සහිත වැඩපිළිවෙළ සන්තුෂ්ටිය උපදවන දෙයක් හැටියටයි අද මිනිසා දකින්නේ. මෙයින් අපට පැහැදිලියි මොන තරමට මුළු මහත් ලෝකයම මාර ග්‍රහණයට හසු වී තිබෙනවාද යන්න. 
"මහණෙනි මෙලොව අධිපති භාවයෙන් අග්‍ර වන්නේ මාරයාය." යන්න බුද්ධ වචනයයි. 
මෙවන් අධිපතිත්වයක් පරාජයට පත් කිරීම සාමාන්‍ය මනුෂ්‍යයකුට සිතන්නටවත් පුළුවන් දෙයක් නොවේ.


තථාගතයන් වහන්සේ මාර පරාජයෙන් පසු මාරයා පරාජය පිළිගත්තා ද?


යම් යම් අවස්ථා අපට පෙනෙනවා. පරාජයෙන් පසුවත් මාරයා තවදුරටත් උත්සාහ කළා. අපට පෙනෙනවා බෝසතුන් වහන්සේ අබිනික්මන් කළ මොහොතේ පටන් මාරයා උන්වහන්සේ ලුහුබැඳ එන්නේ. උන්වහන්සේ ගේ පියවරක් පියවරක් පාසා මාරයා පැමිණියා මේ ගමන නවත්වන්නට. සම්බුද්ධත්වයෙන් පසු වසරක් පුරාමත් මේ විදියට පැමිණ තිබෙනවා උන්වහන්සේගේ කිසියම් අතපසුවීමක් දැක ගැනීම පිණිස. දසමාර සේනාවන්ගෙන් පහර දෙනු පිණිස. වරක් එක් අවස්ථාවක තථාගතයන් වහන්සේට මෙවැනි සිතිවිල්ලක් පහල වුණා. 
"මෙලොව පාලනය වන්නේ අධර්මයෙන්මයි. අවි ආයුධයෙන් අධර්මයෙන් තොරව ලොව පාලනය කළ හැකි ක්‍රමයක් නැතිද?" ආදී වශයෙන් සිතුවා පමණයි, බලන්න මාරයා මොන තරමට සූක්ෂම ලෙස උන්වහන්සේ ගැන විමසිලිමත් වූවා ද කියා. මේ මොහොතේම මාරයා ඉදිරියට පැමිණියා.
"භාග්‍යවතුන් වහන්ස, ලොව පාලනය කරන සේක්වා. ඔබවහන්සේ ඡන්ද, චිත්ත වීරිය, විමංසා වඩා ඇති කෙනෙක්. මේ නිසා ඉතා පහසුවෙන් ඔබවහන්සේට එය කළ හැකියි."
මෙයින් මාරයා අදහස් කළේ භාග්‍යවතුන්වහන්සේ දේශපාලන කර්තව්‍යයක් සඳහා පොලඹවා ගැනීමයි. මෙයින් මිනිසාගේ විමුක්ති සාධන වැඩපිළිවෙළ එහෙම් පිටින්ම ඇනහිටින බව මාරයාට පෙනුණා. 
"මාරය නුඹ දන්නවාද මෙලොව සත්ත්වයා කිසිවකින් සෑහීමකට පත් වන්නේ නෑ. එක් මනුෂ්‍යයකුට කහවණු වැස්සක් වැස්සෙව්වා වුණත් ඔහුගේ අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කොට අවසන් කිරීමට බැහැ. මා සිතුවේ ඔබ සිතූ ආකාරයේ දෙයක් නොවේ. ලොව යහපත ගැනම පමණයි." උන්වහන්සේ දේශනා කොට වදාළා. උන්වහන්සේගේ එක් සිතිවිල්ලක් මෙසේ අල්ලා ගැනීමට තරම් මාරයා බලවත් වූවා නම් සාමාන්‍ය මිනිසා ගැන කවර කතාද?


මාරාවේශ වූ මිනිසුන් ගැන සඳහන් ව ඇත්තේ කෙසේ ද?


වරක් බුදුරජාණන් වහන්සේ එක් ගමක පිඬුසිඟා වැඩියා. මෙදා මාරයා ඒ ගමේ මිනිසුන්ට ආවේශ වුණා. මෙයින් ඒ අයට දානය දීමට තිබූ උනන්දුව නැති වී ගියා. දානය නොලද බුදුන්වහන්සේ යළි ආපිට වැඩියා තමන්වහන්සේ වැඩ සිටි කුටියටම. මේ වෙලාවේදී මාරයා උන්වහන්සේ හමුවට පැමිණ මෙසේ ඇසුවා. 
"භාග්‍යවතුන්වහන්ස, දන් නැහැ නොවේද?". 
"මාරය නුඹ එසේ වීමට කටයුතු යෙදුවා නෙව." උන්වහන්සේ ප්‍රකාශ කළා. 
"භාග්‍යවතුන්වහන්ස, දැන් යළි වඩින්න. මා දන් ලැබෙන පිළිවෙළට කටයුතු යොදන්නම්."
"අවශ්‍ය නැහැ ඒ කිසිවක්. අප සැබෑ ලෙසම සතුටින් ජීවත් වෙනවා. එම නිසා ආභස්සර ලොව දෙවියන් වගේම අපත් ප්‍රීතිය අනුභව කරමින්ම සිටිනවා."


සාමාන්‍ය මිනිසුන්ට පමණක් නොවේ. බුද්ධකාලීනවත් භික්ෂූන්ට පවා මාරාවේශ බලපෑම් සිදු වුණා නේද?


පැහැදිලිවම. ආනන්ද තෙරුන්වහන්සේට සිදු වුණේත් මෙයයි. ඒ මාරාවේශයේ බලපෑම නිසා තමයි උන්වහන්සේට තථාගතයන් වහන්සේට ආයුෂ කල්ප කාලයක් ජීවත් වන්න යැයි ඇරයුම් කළ නොහැකි වුණේ. සෝතාපන්නව සිටි ආනන්ද තෙරුන්ට මාරයා එසේ බලපෑවා නම් අන් අය ගැන කවර කතා ද?


පෞද්ගලිකව නොයෙක් අය බුදු බව පතන තත්ත්වයක් දැන් ඇතිවී තිබෙනවා. මෙයට හේතුව කුමක් විය හැකිද?


ගෞතම ශාසනය තුළ ධර්මාවබෝධයට තිබෙන හැකියාව භික්ෂූන් කෙරෙන් අතුරුදන් කරමින් ඔවුනොවුන්ට බුදු වන රටාවක් හඳුන්වා දීම තුළ බුද්ධ ශාසනය අතුරුදන් වෙනවා. මාරයා හුදෙක් සංකල්පයක්ය වැනි අදහස් මිනිසා අතර ප්‍රචලිත කිරීම පවා මාර බලවේගයකින්ම සිදුවන දෙයක්. මෙවිට මාරයා ගේ සැබෑ ස්වභාවය හෙළිදරව් නොවන නිසාම ඒ පිළිබඳ නිවැරදි අධ්‍යයනයක් සිදු නොවන නිසා ඔහුට සැඟවී පැවතිය හැකි තත්ත්වයක් එයින් නිර්මාණය වෙනවා.


අප තථාගතයන් වහන්සේ මාර පරාජය කළේ කෙසේ ද?


තථාගතයන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සොයා ගැනීම තමයි උන්වහන්සේගේ ජයග්‍රහණය වුණේ. මෙය තමන් වහන්සේ ජීවිතයට හොඳින් ගළපා ගත්තා. බුද්ධත්වය උදෙසාම ඉමහත් කැපවීමෙන් එසේ වජ්‍රාසනයෙන් උන්වහන්සේ කළ වාඩිවීම මෙලොව කිසිවෙකුටත් බිඳ හෙළන්නට නොහැකි වුණා. දැඩි අදිටනින් යුතුව උන්වහන්සේ මෙසේ වැඩසිටි නිසාම සේනා සහිත මාරයාට කිසිවක්ම කරගත නොහැකි වුණා.
ගිරිමේඛලා ඇතු පිටින් මාරයා දස මාර සේනා සමග එතැනට පැමිණියා. ආයුධ වරුසා, ගල් වරුසා, තවත් බිහිසුණු වරුසා, බිහිසුණු ශබ්ද ආදී සියල්ල ඇති කළා. කාමයට, අරතියට, පිපාසයට, බඩගින්නට, නිදිමතට, සැකයට, තෘෂ්ණාවට, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට, අනුන් හෙළා දකිමින් තමා හුවා දැක්වීමට ආදී කිසිවකින් තථාගතයන් වහන්සේ පරාජය නොකළහැකි බව මාරයාට වැටහී තිබුණා. ඒ නිසාම බිය උපදවන්නට මාරයා උත්සුක වුණා. ඒත් ඒ උපක්‍රමය ව්‍යර්ථ වුණා. අවසානයේ දී දස මාර සේනාවම පරාජයට පත් වුණා. මෙවිට මාරයාට වැටහුණා තවදුරටත් වෙහෙසී ඵලක් නොවන බව. ඒ මොහොතේ දී අප තථාගතයන් වහන්සේ සියලු මාර සේනා මැඬ සිත සමාධිමත් කර අවසන් කළා. සිත සමාධිමත් කොට ගෙන විතක්ක විචාර සන්සිඳ වූ විට බාහිර ලෝකය හා ඇහි සබඳතා සිඳී යනවා. ඉන් පසු ධ්‍යාන අතර සම්පූර්ණ වෙමින් යන විට තවදුරටත් මාරයාට කළ හැක්කක් නැහැ. ත්‍රිවිද්‍යා ඇතුළු වෙනත් ඤාන උන්වහන්සේ තුළ මේ වන විට වර්ධනය වුණා. මෙයින් මාරයා සහමුලින්ම පරාජයට පත් වුණා. ඒත් සිය පරාජයෙන් පසුවත් මාරයා උන්වහන්සේ අත්හැර දැමුවේ නැහැ. මෙවිට දෙවිවරුන් ප්‍රීති ඝෝෂා කරන්නට වුණා. තථාගතයන් වහන්සේ මාර පරාජය කළ බව එයින් කියවුණා. මේ සමගම දෙවිවරුන් උන්වහන්සේ වෙත ළං වෙන්නට වුණා. මීට පෙර එසේ ළං වීමට මාරයා ඉඩකඩ අහුරා තිබුණා. මාරයා ලෝකාධිපති බව අප අමතක නොකළ යුතුයි. මීට පෙර උන්වහන්සේව නිතර තනිකර තැබුවේ මාරයායි.


මාරයා අප තථාගහයන් වහන්සේ හුදෙකලා කොට උන්වහන්සේට බලපෑම් කළ අවස්ථා තිබෙනවා ද?


පැහැදිලිවම තිබෙනවා. වරක් මාරයා උන්වහන්සේ වෙත පැමිණ මෙසේ කීවා. 
" ඔබ ඔතැනින් නැගිටින්න. ඔබ ඔය වාඩිවී සිටින බිම්කඩ මගෙයි". 
"ඒ බවට සාක්ෂි මොනවාද?" උන්වහන්සේ එවිට ඇසුවා. 
එවිට මාර සේනාව ම මෙසේ කීවා. 
"අපි සාක්කි. අපි සාක්කි.
"නැහැ මාරය මෙතැන මගේ" උන්වහන්සේ කියා සිටියා. එවිට මාරය ඇසුවා; 
" මොනවද ඔබට තියෙන සාක්ෂි?". 
මේ වන විටත් උන්වහන්සේ අසලකටවත් එක් දෙවිකෙනෙකුටවත් එන්නට ඉඩක් මාරයා සලසා දී තිබුණේ නැහැ. උන්වහන්සේ සිටියේ හුදකලා කොට දමලා. මෙවිට උන්වහන්සේ දකුණු අත පොළොව මත තැබුවා. මෙසේ පැවසුවා. 
"ධරණී මාතාවෙනි, ඔබ දන්නවා මාගේ මේ ගමනේ දී මා කළ කැපවීම් සියල්ල ගැන.
මෙන්න මේ වෙලාවේ දී මහ පොළොව දෙදරුම් කෑවා. ගිරිමේඛලා හස්තිරාජයාට සිටගෙන සිටීමට නොහැකි වුණා. හස්තිරාජයා බිම වැටුණා. එවිට ඒ මත සිටි මාරයාත් වැටුණා. ඕනෑම යුද පෙරමුණක දී ප්‍රතිවාදියා වැටුණු විට ඒ ඔහුගේ පරාජයේ සලකුණ බව අප දන්නවා. මෙතැනදී මාරයා පරාජය පිළිගෙන පසුබැස්සා. මේ මාර පරාජය ඉතා තීරණාත්මක වැදගත් අවස්ථාවක් වුණා. එය බුද්ධ ශාසනයේ පැවැත්මට යහපත් අයුරින් බලපෑ කාරණාවක් වුණා.


තණ්හා රතී රඟා යනු කවුරුන් ද?


මාරයා වරක් බිම මහ පොළොව මත ඉරි රැසක් අඳිමින් සිටියා. ඔහුගේ දූවරුන් තිදෙනෙක් සිටියා. තණ්හා, රතී, රගා කියා. මේ අයට පෙනුණා තම පියාණන් ගේ දෝමනස්ස චිත්ත ස්වභාවය. ඔවුන් මේ ගැන විමසුවා.
"දූවරුනි, මට කළ හැකි කිසිවක් නැහැ. ශ්‍රමණ ගෞතමයන් කෙතරම් ලුහුබැඳ ගියත් ඔහුගේ අතපසු වීමක් සොයාගත නොහැකි වුණා." මාරයා කීවා. 
"එසේ නම් අපි ඔහු රාග පාශයෙන් බැඳ ගෙනෙන්නද?" කියා දූවරුන් ඇසුවා.
"නුඹලාට පුළුවනිද කෙල්ලනේ?" කියා මාරයා අසා සිටියා. මෙන්න මේ වෙලාවේ දී තමයි මේ අප තථාගතයන් වහන්සේ වසඟයට ගැනීම පිණිස පිටත් වුණේ. ඒ සඳහා ඔවුන් සැලසුම් කළ ආකාරයත් ඉතාම රසවත්. ඒ විස්තරය මීළඟ ලිපියෙන් ඉදිරිපත් කරමු.